නිලාවැලි සහ පරෙවි දූපත
දකුණු පළාතෙන් පිටත වෙරළ තීරයන් වලින් වඩාත්ම ප්‍රසිද්ධ තැනක් තමයි නිලාවැලි ප්‍රදේශය. රටේ තිබුණ යුද්ධය සහ 2004 අවුරුද්දේ ඇති වුණු සුනාමි ව්‍යසනය නිසා මේ සුන්දර වෙරළ ප්‍රදේශයේ ජනප්‍රියත්වය සෑහෙන දුරට අඩු වෙලා තිබුණත් ඒ තත්වය ඉක්මණින්ම පහ වෙලා ගියා. මේ නිසා නිලාවැලි ප්‍රදේශය දැන් ආයෙමත් බොහෝ දෙනා ආසම කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. ත්‍රිකුණාමලය නගරයට කිලෝමීටර් 16ක් විතර උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන නිලාවැලි වෙරළ තීරය අදත් එදා තරමටම සුන්දරයි.
නිලාවැලිය මේ තරම් ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව සුන්දරත්වය වගේම පහසුකම් අතිනුත් ඉහළ තැනක තියෙන එක. බොහෝ ජනප්‍රිය වෙරළ තීර මිනිස්සුන්ගෙන් පිරිලා යන නිසා මේ දවස් වල ඇත්තටම සුන්දරත්වයක් අත්දකින්න අපහසුයි. අනිත් අතට ඒ තරම් ප්‍රසිද්ධියක් නැති වෙරළ ප්‍රදේශ වල නවාතැන් පහසුකම් සොයා ගන්න ලේසි නැහැ. නිලාවැලිය මේ ප්‍රශ්න දෙකටම හොඳ පිළිතුරක් දෙන තැනක්. තවමත් වැඩි දෙනා එන්නේ නැති නිසා බොහොම නිස්කලංකව තිබුණත් නිලාවැලි ප්‍රදේශයේ සුවපහසු හෝටල් සහ ආපනශාලා වලින් කිසිම අඩුවක් නැහැ.
අනිත් වැදගත්ම දේ තමයි නිලාවැලි වෙරළට කිලෝමීටරයක් විතර ඈතින් තියෙන පරෙවි දූපත. ශ්‍රී ලංකාවේ තියෙන සමුද්‍ර උද්‍යාන දෙකෙන් එකක් වන පරෙවි දූපත අවට අපේ රටේ දැකගන්න පුළුවන් විශාලතම සජීවී කොරල් පරයත් පිහිටලා තියෙනවා. මේ නිසා කිමිදීලා බලන්න වගේම ස්නෝක්ලින් වලටත් පරෙවි දූපත කියාපු තැනක්.




